Friday, November 4, 2011

සමු ගැනීම...


හිතට ඕනේ ඔනේ විදිහට නටන්න දෙන්න බෑ...මම ආයිත් ඇස් දෙක පියා ගත්තා.....

එත් ඇස් දෙක එහෙම හිතුවෙ නෑ.. ආත්ම ගානක් තිස්සේ ඔයාටම කියලා පපුවෙ හිර කරන් හිටිය ආදරේ හෝ ගාලා ඇස් වලින් ගලන් ගියා... ඒ උණුහුමට කම්මුල් පොපියන්න ගත්තා...

මම පෙනහළු පුරෝලා හුස්මක් ඉහලට ඇද්දා......

ළමා සාරියත් ඇඳන් ඉස්සර ඔයා දහම් පාසැල් එනවා මට අදටත් චිත්‍රයක් වගේ මැවිලා පේනවා.. අතකින් පොත් ටික ඔයාගේ පුංචි පපුවට තුරුළු කරන්... අනිත් අතින් මල්ලිව අල්ලගෙන... පඩි පෙල දිගේ පන්සලට එනවා... දිලිසෙන ලොකු ඇස්..... අරලිය මල් සුවඳ...

සුන්දර හැම දෙයක්ම අනිත්‍යයි.... මම ආයිත් හුස්මක් ඉහලට ගත්තා... බුදු පාන ගාව පත්තු කරපු හඳුන්කූරු වල සුවඳ මගෙ පෙනහළු දිගේ ඇදිලා ගියා..

ඒ සුවඳ මාව මටත් නොදැනිම බෝමළුවට අරන් ගියා.. බෝමළුව පුරාවට හඳුන්කූරු සුවඳ... ඔයා බොධිය දිහා බලාගෙන අනිමිසලොචනේද කොහෙදෝ.. මම ටික වෙලාවක් පැත්තකට වෙලා ඔයාගෙ ඇහි පිය ගැහෙන හැටි බලන් හිටියා.. පපුව ඇතුලේ මොනවදො බරට පිරීගෙන යනවා වගේ මට දැනුනා. ඒ දේට උගුර ලඟට පිරෙන්න මහ වෙලාවක් ගියේ නෑ. උගුර හිර වුනා..

මම හිමීට ඔයා ලඟට ඇවිත්, ඔයාගෙ අතින් අල්ල ගත්තා..

සිනිදුයි.... කියන්න හැදුවට වචන පිට උනේ නෑ. ඔයා ගැස්සිලා වගේ මගේ දිහා බැලුවා

ඔයාට ආදරේ කරන්න මට පව්.... මම ඔයාගේ ජීවිතේ විනාශ කරනවා.... ඔයා කොච්චර උසස් කෙනෙක්ද....

මම ඔයාගෙ ඇස් දෙකට එබිලා, ඒවා ඇතුලෙ පිරිලා තියෙන හැඟීම් කියවන්න උත්සාහ කලා.. ඒවා ඇතුලේ ඉදන් පුංචි පිනි කැට දෙකක් එලියට එන්න දගලනවා...

ආදරය දුකට හේතු වෙනවා... මම ආයිත් හුස්මක් ඉහලට ගත්තා...

පොඩි තැන.... ගිහින් අර දොලොස්මහේ පහන සුද්ද කලා නම්... ලොකු හාමුදුරුවන්ගේ කට හඬ ආවාසෙ පුරා දොංකාර දුන්නා....

ඔයාගේ ආදරේ හරියට පන්සලේ තියෙන දොලොස්මහේ පහන වගේ, කවදාවත් නිවෙන්නෙ නෑ. හැමදාටම එලියයි. දවසක් ඒ පහන ගාවදි මම කිව්වා... ඔයා අහිංසක විදිහට මං දිහා බලාගෙන හිටියා.. ඒ ඇස් මොහොතකට මාවම මට අමතක කරනවා..

හැම දෙයක්ම තාවකාලිකයි.. අනිත්‍යය විතරයි සදාකාගික... මම ආයිත් හුස්මක් ඉහලට ගත්තා...

පොඩි තැන......

මම තීරණයක් ගන්නවා. මේ සිවුර පැත්තකට විසි කරලා කොළඹ යනවා... ගිහින් රස්සාවක් හොයා ගන්නවා... ඊට පස්සේ...... ඊට පස්සෙ ඉතින්....

දත් අතරට හිරවෙච්ච යටි තොලෙන් ලේ රහක් දිවට දැනෙද්දි දත් ඇඳි දෙක මම තවත් ටිකක් තද කලා..

Thursday, November 3, 2011

මම ලියනවා......



එක පාරටම පුංචිම පුංචි හුළං රැල්ලක් ඇති වෙලා නැති වෙලා ගියා....


ඈත කොනක තිබිච්ච පුංචි වලාකුලක් ඒ හුල‍ඟෙ පාවෙලා ඇවිත් හිතේ මුල්ලක වැදිලා බිඳිලා ගියා. ගල් ගැහෙන සීතලට උඩින් හිත පුරාවටම දුවන සිතුවිලි වල උණූහුම පපුවට ගෙනාවේ වචනයෙන් කියන්න බැරි හැගීමක්.


හැඟීම් කියන්න පුළුවන්නම්..... මට එකපාරටම හිතුනා. මේ දැනෙන අපූරු හැඟීම තව කෙනෙක්ට විඳින්න දෙන්න පුළුවන්නම්.....


උඩ පැන පැන දැඟලුවට උඹ හරිම දුර්වල සතෙක්... කොහෙන්දෝ ආපු කට හඩක් හිනා වෙනවා. මම ගැස්සිලා වට පිට බැලුවා. ලඟ පාත තියා දුර ඈතින්වත් ඒ හඩේ හිමිකාරයව මට පෙනුනේ නෑ.


විකාර.... ඔයා එහෙම කියන බව මම දන්නවා.


මටත් හිතුනේ එහෙමමයි..


මේ ලෝකේ නිරපේක්‍ෂයි... කවුදෝ කොහේ හරි ලියලා තිබ්බා.... එක පාරටම අහසේ විදුලියක් කෙටුවා...


බම්බුව තමයි... අර හඬ ආයිත් හිනා වුනා.


හඬ කියන්නේ ඇත්ත... ලෝකය නිරපේක්‍ෂ වුනානම්.... එහෙම උනානම් මගේ සිතුවිලි කාට හරි කිව්වොත් එයාටත් මට දැනුන හැඟීමම දැනෙන්න ඕනේ.. මේ හැම දෙයක්ම “මට“ සාපේක්‍ෂයි... අහස ගොරවනවා..


විදුලි කෙටුවට පස්සේ කොහොමත් ගොරවන්න එපෑනේ....


මම වැරදිද...? මම අහසෙන් ඇහුවා.. උත්තරයක් ලැබුනේ නෑ.. ආයිත් පුංචි හුලං රැල්ලක් හමන් යනවා මට දැනුනා... 


මම ලියනවා... මුළු අහසටම ඇහෙන්න මම මිමිණුවා.. උඹ ඇතුලේ සැරින් සැරේ මතුවෙන වාලාකුළු ගැන මම ලෝකෙටම කියනවා... ආයිත් විදුලියක් කෙටුවා...


දැන් ඉතින් තව ටිකකින් ගොරවයි..... කොහෙන්දෝ අර හඩ ආයිත් මතු උනා...


ඊට පස්සේ.....? ඊට පස්සේ ඉතින් ආයිත්...........