Monday, July 16, 2012

එතකොට මම.............

බ්ලොග් කරන්න පටන් ගත්තට මොකෝ ලියන එකනම් මාරම කම්මැලි වැඩක් කියලා තේරුණේ පස්සෙයි. ලියන්න ඕනේ කියලා හිතපු දේවල් කීයක් කියලා නම් අතැරලා දැම්මද පහු ගිය ටිකේ.. මම හිතන්නේ මේ වෙනකොට වලාකුළ සින්ඩියෙනුත් පන්නලා දාලා ඇත්තේ.කොහොම උනත් මේකනම් ලියලා තියා ගන්නම ඕනේ කියලා හිතුණා.

පහුගියකාලේ වෙච්ච දේවල් නම් අපමණයි. ඒ අතරින් එකක් තමයි බයිසිකල් අඩව්ව. අතුරු පාරකින් වට පිට නොබල පාරට බයිසිකලයක් දැම්ම ගොනෙක් බේරන්න බ්‍රේක් පාගලා මාව ලිස්සල වැටුනා. ඇදන් හිටිය ඩෙනිමටයි දාගෙන හිටිය සපත්තු දෙකටයි පින් සිද්ධ වෙන්න දණිස්ස චුට්ටක් සීරිලා මම බේරුණා. හැබැයි ඉතින් මට ඒ තිබිච්ච පින මගේ බයික් එකටවත්, සපත්තු දෙකටවත් ඩෙනිමටවත් තිබුණේ නෑ.

තර්ඩ් පාරිටි ඉන්ෂුඅ'රන්ස් දාලා ඉතුරු කර ගත්ත සල්ලි වලින් බයිසිකලේ දඩ බඩ ගාලා අටව ගත්තා.


(නැත්නම් ඉතින් හදිස්සියකට කකුකුස්සියකටවත් යන්න වාහනයක් නැති වෙනවනේ.එහෙමලු අපේ අම්මා කිව්වේ.)

ධාතුසේන රජ්ජුරුවන්ගේ නිධානේ වගේ සන්තකේට තිබ්බෙ ඩෙනිම් දෙකයි. ඒකෙන් එකක් බරු ගිහිල්ලා. හිතා ගත්තැකිනේ මගේ තත්වේ. නුඹ නාඩන් අපිට පිස්සු කියලා මම ඉතින් හැම අහිංසක පිරිමි දරුවෙක්ම කරන දේ කලා.

(ඔය තේරුනේ හරියටම‍‍.. එහෙම තමයි කලේ..)

හෝදන්නේ නැතුව එකම ඩෙනිම දිගටම ඇන්දා.. ඒත් සති 2 1/2 විතර යද්දි මට තේරුණා මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදු වෙනවා කියලා

(ඔය නහය වහගත්ත ගෑණු ලමයි දැන් අත අයින් කර ගන්න. දැන් ඒක හෝදලා තියෙන්නේ)


ඉතින් මම තීරණය කලා හුදී ජනතාව‍ගේ පහන් සංවේගය වෙනුවෙන් අළුතෙන් ඩෙනිමක් ගන්න. ඒත් ඉතින් අදකාලේ තනියෙන් ඇඳුම් තඩ අසේ රිංගන්න පුළුවන්ද ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක්ට... ඒක නිසාම මම මගේ අතිජාත යාළුවෙක්ට කතා කලා ඔය වැඩේට යන්න.

අඩෝ මාර සීන් එකනේ, මම බයිසිකලෙන් වැටුණනේ.. 


අප්පට සිරි දැන් තෝ කොහෙද? ඉස්පිරිතාලේ ද? ගොඩක් අමාරුද ?


වැටිලා දැන් ටිකක් දවස් බං.. දනිස්ස ලෙලි ගියා.. දැන් ගොඩක් දුරට හොඳයි...


ඇයි @$$% තො කියන්න එපෑනේ. අපි එනවනේ ඇපල් එහෙම අරගෙන

ඒවා ෂේප් බං.. ඒක නෙමේ සීන් එක ඩෙනිම ඉරුණ බං.. අළුතින් එකක් ගන්න ඔනේ..

එල එල යමු වෙලාවක..


යකෝ ඉක්මනට ගන්න ඕනේ.... අදින්න එකක් නෑ...


මේ දවස් දෙක තුනේ වැඩක් තියෙනවා මඩං.. සැටර්ඩේ යමං...


එළ එළ. එහෙනම් සැටර්ඩේ යමං.....




ඔන්න ඉතිං  මම දත කට මැදගෙන ගානකුත් එකතු කර ගත්තා. ගන්නවත් එකේ හොඳ ඩෙනික් ගන්න එපෑනේ...

ඔන්න ඉතින් කාලය ඉගිලී යයි ඉගිලී යයි කියලා සිකුරාදා උනා... ටිකක් රෑ වෙන්න ඇරලා මම අරූට කොල් එකක් ගත්තා..


කොහොමද මචං ?? මොකද වෙන්නේ ?

මුකුත් නෑ බං.. මේ යාළුවෙක්ගේ පොඩි වැඩක් කලා.. යාළුවෙක් හෙල්ප් එකක් ඉල්ලුවම බෑ කියන්න බෑනේ බං..

ආහ්... එළ එළ... මේ ඒක නෙමේ හෙට උබ එනවනේ ෂොපිං පාරක් දාන්න ??

අම්මට සිරි.. අඩෝ හෙට එන්න වෙන්නේ නෑ බං.. යාළුවෙක්ගේ වැඩකට යන්න තියෙනවා.. අපි වෙන දවසක යමුද ?

($@!$%$$$ @$&*%$ ^&^%^ මම තොගේ යාළුවෙක් නෙමේද එතකොට? )

ආ.. එළ එළ එහෙනම්.. උඹ ෆ්‍රී වෙලාවක කියපන් යමු...




(කියවන අයට කියන්න තියෙන්නේ, මෙහි ඇති හැම අකුරක්ම මනඃකල්පිතය කියලයි. ඇත්තට මෙහෙම දෙයක් උනොත් කොහොමට තියෙද ඈ ?)


Saturday, February 11, 2012

ගහකට නැග්ගෙමි....

සභාවෙන් අවසරයි....!!!
ප්‍රථමයෙන්ම මම මෙය අවස්ථාවක් කර ගන්න කැමතී දයාබර අසරණයාට සහ කතන්දරයන්ට ස්තූති කරන්ට. මම මේ බ්ලොගය (හරි වචනෙද මන්දා) අරම්භ කරන්නට යෙදුනේ කොමෙන්ටු බලාපොරොත්තුවෙන් නොවේ (බොරු). ඒ නිසාම මම මේ පිළිබඳව මාගේ කිසිම පුද්ගලික යහළුවෙක් දැනුවත් නොකරන්නට වග බලා ගත්තෙමි (අම්මපා කාටවත් කිව්වේ නෑ). ඉතින් එවැනි අවස්ථාවක සින්ඩිය දිගේ පැමිණ ඔබ දෙපල විසින් දමා ගිය කොමෙන්ටු මාගේ හිතට දැඩි මේව්වා එකක් ලබා දුන් බව නොකියාම බැරිය.

එසේ තිබියදිත් පොස්ටුවක් දැමීමට මෙතරම් කාලයක් ගැනීම පිළිබඳව මාගේ බලවත් කණගාටුව පල කරන අතර මෙතැන් සිට හැකි සෑම විටම පෝස්ටුවක්  දැමීමට ක්‍රියා කරන බව මෙයින් පොරොන්දු වෙමි (චන්ද පොරොන්දු)...  ඒ පිලිබඳව සලකා බලා ඔබගේ එව්වා මෙව්වා සියල්ල බාල්දියකට දමන ලෙසද බෙල්ල නවාගෙන ඉල්ලා සිටිමි.

ස්තූතියි...

මීට
සිතුවිලි........

=========================================================================

ඉතින් ඒ විදිහට ෆෝර්මල් සෙෂන් එක ඉවර වෙද්දි මම ආයිත් සමාව ඉල්ලනවා පහුගිය කාලෙම මුකුත් ලිව්වෙ නැති එක ගැන. මොකද මම දන්නවා කතන්දර සහ අසරණයා කියන දෙන්නම ඒ අයගේ වටිනා කාලය වැය කරලා කමෙන්ට්ස් දැම්මේ මාව දිරිමත් කරන්න කියලා. මුකුත් ලිව්වෙ නැති එක ඒ අයට කරපු  ලොකු අසාධාරණයක්.

එහෙම නොලියන්න තිබිච්ච එකම හේතුව තමා, මට හිතලා ලියන්න බැරිකම.. ඉබේම ලියවුනොත් තමා.. පලවෙනි පොස්ට් දෙක දාපු දවස්වල මගෙ ඔළුව ඇතුලෙ අමුතුම පිස්සු ගතියක් වගේ එකක් තිබ්බා.. පිස්සු වැඩි වුන නිසා හරි හොඳ වුන නිසා හරි ඊට පස්සේ අකුරක් කොටන්න හිත් දුන්නෙම නෑ..

කොහොම උනත් මකුළුදැල් එහෙම කඩලා මේ පෝස්ට් එක දාන්න හේතුවත් අපේ බ්ලොග් සහෘදයන්ම තමා. ඔන්න එහෙනම් අහගන්නකො කතාව....

මගේ ඥාතියෙක්ගෙ නිවසෙ ඊයේ රාත්‍රියේ තිබුණා පොඩි ශාන්තිකර්මයක්. දන්නවනේ ඉතින් අර වැලි තියලා, මල් තියලා, පහන් තියෙලා කරන්නේ.

(මොකක් ??? හරි දන්නේ නැත්නම් කමක් නෑ. කථාව අහන්නකෝ.....)

ඔන්න ඉතින් ඔය කටයුත්ත ඉවරත් උනා...

(නෑ කථාව නෙමේ, ශාන්තිකර්මේ...)

ඕකට පහන් තිබ්බා කියලා මම කිව්වනේ. දැන් ඒවා එක එක නිවිලා ගිහිල්ලා අන්තිම පහන් දෙක තමා ඉතිරි වෙලා තිබ්බේ. එකක දැල්ල ලොකුයි. අනිකෙ දැල්ල පොඩියි..

එතකොට තමයි මට එක පාරටම අභියව මතක් උනේ.. ඊට පස්සේ සන් සන් ගාලා සඳරුවව මතක් වෙලා කතන්දරව මතක් උනා.. අවස්ථා සම්බන්ධෙ තෙරුන්නැති කට්ටිය මේවා කියවන්නකො පෙම් කිරීමට උපදෙස්, හිස් අහස දෙකඩ වෙයි

(මම ඉතින් ලිව්වේ නැතුවට අනේකවත් අපේ සහෝදර සහෝදරිය ලියන ඒවා කියෙව්වා හරිය ??)

දැන් ඉතින් මට මේ තියරිය ටෙස්ට් කරන්නම හිතෙනවා.. ඒත් ඉතින් දෙවන පාර්ශවයක් නෑනේ.. එතකොටම මගේ ඇතුලෙ ඉන්න මොකාද එකා දුන්නා මාර අයිඩියා එකක්.. මොකක්ද දන්නවාද අපේ නංගි පොඩ්ඩව ටෙස්ට් කේස් එකක් ලෙස පාවිච්චි කරන්න.. (එක කුස උපන් පුංචි අම්මගේ දුව) සහෝදර ප්‍රේමය වැඩි කරගන්නත් පුළුවන්නේ... (කොහොමද ටිකිරි මොලේ ??)


ඔන්න ඉතින් මම නංගිට දැම්මා වචනයක්..

ඔයා හිතන්නේ අර පහන් දෙකෙන් කොයි එක මුලින් නිවෙයි කියලද ??

අර ඉස්සරහින් තියෙන්නේ. ලොකු දැල්ලක් තියෙන එක...

නැහැ ඒක නෙමෙයි මුලින්ම නිවෙන්නේ.. පිටි පස්සෙන් තියෙන පහන..

නැහැ අනේ නිවෙන්න යන පහනේ තමා දැල්ල ලොකු..

හරි මොනවද ඔට්ටු ?? මම කියන්නේ මුලින්ම නිවෙන්නේ දැල්ල පොඩි පහන..

ඔයා කියන්නකො මොනවද ඔට්ටු කියලා...

හරි ඔයා දිනුවොත් ඔයාට මම ලිලී මල් ගෙනත් දෙනවා.. මම දිනුවොත් මට චොක්ලට් එකක් ඕනේ.. මොකද කියන්නේ ??
(එයා චොක්ලට් වලට කැමති නෑ. ලීලී කිව්වොත් වෙන මුකුත් ඕනේ නෑ..මම දන්නේ ඉතින් මගෙ නංගි නිසා)


හරි ඔන්න ඉතින් එයත් වැඩේට පැනලා හා.. (ගහේ බඩු වගේ දිනන් පුළුවන් කොට අකමැති වෙන්නේ මොන එහෙකටද)

දැන් මමයි, නංගියි බලං ඉන්නවා පහන් නිවෙනක්ම්.. හිතාගත්තැකිද වෙච්ච දේ ?? අයිත් අහලා, ඒක තමා උනේ. අර නිවෙන්න වගේ තිබිච්ච පහන එහෙමම තියෙද්දි, අනිත් පහන පත්තු වෙලා ඉවරත් උනා..

මට ඉතින් එදා මෙදා තුර මගේ ජීවිතයේ මොටෝ එක නැවතත් සිහියට නැගුණා. “අපි ගහකට නැග්ගොත් ඒකෙත් බෙනයක්“

හැබැයි ඉතින් ඒක යටින් අර ඇතුලෙ ඉන්න එකා උගේ මොටෝ එක මට සිහිපත් කලා. “පෙරලුන පිට හොඳයි“.

කොහොමද වැඩේ. ඔන්න මට චොකලට් එකක් ගෙනත් දෙනවා හරිද ?

ඔයා කොහොම ඒක කිව්වේ ?? දැල්ල ලොකු වෙන්නේ පහන නිවෙන්න ගියාමනේ..

අපිට ඔය තියරි අදාල නෑනේ. අපි දෙයක් කිව්වොත් කිරි ගහට මෝල් ගහෙන් ගැහුවා වගේ තමා..

නෑ.. නෑ.. ඔයා මම දැක්ක නැති මොකක් හරි දැක්කා.. කොහොමද කිව්වේ කියන්නකෝ (දැක්කා ඉතින් මම)


නෑ අනේ.. මම මුකුත් දැක්කේ නෑ.. මම මෙතනමනෙ හිටියේ..

හරි එහෙනම් කියන්නකෝ ඔයා හරියටම දැනගත්තේ කොහොමද කියලා

(කොලර් උස්සා) දැන්ම කියන්න බෑ. පස්සේ දවසක කියන්නම්. චොකලට් එක ලැබුනට පස්සේ..

ලොල්... ඔන්න ඔහොමයි මම කතන්දර තියරිය පාවිච්චි කරන්න ගිහින් මම පොරක් උනේ... කොහොම උනත් පොඩි එකාට ලිලී මල් දෙක තුනක් ගිහින් දෙන්න ඕනේ.. මගේ සහෝදර ප්‍රේමයනේ...


පලිය //
ඕක අහන්නත් දෙයක්ය ?? ඔය කියපු බ්ලොග් මම කියවන ඒවා තමා.. හැබැයි ඒවා විතරක් නෙමේ තව තියෙනවා..

Friday, November 4, 2011

සමු ගැනීම...


හිතට ඕනේ ඔනේ විදිහට නටන්න දෙන්න බෑ...මම ආයිත් ඇස් දෙක පියා ගත්තා.....

එත් ඇස් දෙක එහෙම හිතුවෙ නෑ.. ආත්ම ගානක් තිස්සේ ඔයාටම කියලා පපුවෙ හිර කරන් හිටිය ආදරේ හෝ ගාලා ඇස් වලින් ගලන් ගියා... ඒ උණුහුමට කම්මුල් පොපියන්න ගත්තා...

මම පෙනහළු පුරෝලා හුස්මක් ඉහලට ඇද්දා......

ළමා සාරියත් ඇඳන් ඉස්සර ඔයා දහම් පාසැල් එනවා මට අදටත් චිත්‍රයක් වගේ මැවිලා පේනවා.. අතකින් පොත් ටික ඔයාගේ පුංචි පපුවට තුරුළු කරන්... අනිත් අතින් මල්ලිව අල්ලගෙන... පඩි පෙල දිගේ පන්සලට එනවා... දිලිසෙන ලොකු ඇස්..... අරලිය මල් සුවඳ...

සුන්දර හැම දෙයක්ම අනිත්‍යයි.... මම ආයිත් හුස්මක් ඉහලට ගත්තා... බුදු පාන ගාව පත්තු කරපු හඳුන්කූරු වල සුවඳ මගෙ පෙනහළු දිගේ ඇදිලා ගියා..

ඒ සුවඳ මාව මටත් නොදැනිම බෝමළුවට අරන් ගියා.. බෝමළුව පුරාවට හඳුන්කූරු සුවඳ... ඔයා බොධිය දිහා බලාගෙන අනිමිසලොචනේද කොහෙදෝ.. මම ටික වෙලාවක් පැත්තකට වෙලා ඔයාගෙ ඇහි පිය ගැහෙන හැටි බලන් හිටියා.. පපුව ඇතුලේ මොනවදො බරට පිරීගෙන යනවා වගේ මට දැනුනා. ඒ දේට උගුර ලඟට පිරෙන්න මහ වෙලාවක් ගියේ නෑ. උගුර හිර වුනා..

මම හිමීට ඔයා ලඟට ඇවිත්, ඔයාගෙ අතින් අල්ල ගත්තා..

සිනිදුයි.... කියන්න හැදුවට වචන පිට උනේ නෑ. ඔයා ගැස්සිලා වගේ මගේ දිහා බැලුවා

ඔයාට ආදරේ කරන්න මට පව්.... මම ඔයාගේ ජීවිතේ විනාශ කරනවා.... ඔයා කොච්චර උසස් කෙනෙක්ද....

මම ඔයාගෙ ඇස් දෙකට එබිලා, ඒවා ඇතුලෙ පිරිලා තියෙන හැඟීම් කියවන්න උත්සාහ කලා.. ඒවා ඇතුලේ ඉදන් පුංචි පිනි කැට දෙකක් එලියට එන්න දගලනවා...

ආදරය දුකට හේතු වෙනවා... මම ආයිත් හුස්මක් ඉහලට ගත්තා...

පොඩි තැන.... ගිහින් අර දොලොස්මහේ පහන සුද්ද කලා නම්... ලොකු හාමුදුරුවන්ගේ කට හඬ ආවාසෙ පුරා දොංකාර දුන්නා....

ඔයාගේ ආදරේ හරියට පන්සලේ තියෙන දොලොස්මහේ පහන වගේ, කවදාවත් නිවෙන්නෙ නෑ. හැමදාටම එලියයි. දවසක් ඒ පහන ගාවදි මම කිව්වා... ඔයා අහිංසක විදිහට මං දිහා බලාගෙන හිටියා.. ඒ ඇස් මොහොතකට මාවම මට අමතක කරනවා..

හැම දෙයක්ම තාවකාලිකයි.. අනිත්‍යය විතරයි සදාකාගික... මම ආයිත් හුස්මක් ඉහලට ගත්තා...

පොඩි තැන......

මම තීරණයක් ගන්නවා. මේ සිවුර පැත්තකට විසි කරලා කොළඹ යනවා... ගිහින් රස්සාවක් හොයා ගන්නවා... ඊට පස්සේ...... ඊට පස්සෙ ඉතින්....

දත් අතරට හිරවෙච්ච යටි තොලෙන් ලේ රහක් දිවට දැනෙද්දි දත් ඇඳි දෙක මම තවත් ටිකක් තද කලා..

Thursday, November 3, 2011

මම ලියනවා......



එක පාරටම පුංචිම පුංචි හුළං රැල්ලක් ඇති වෙලා නැති වෙලා ගියා....


ඈත කොනක තිබිච්ච පුංචි වලාකුලක් ඒ හුල‍ඟෙ පාවෙලා ඇවිත් හිතේ මුල්ලක වැදිලා බිඳිලා ගියා. ගල් ගැහෙන සීතලට උඩින් හිත පුරාවටම දුවන සිතුවිලි වල උණූහුම පපුවට ගෙනාවේ වචනයෙන් කියන්න බැරි හැගීමක්.


හැඟීම් කියන්න පුළුවන්නම්..... මට එකපාරටම හිතුනා. මේ දැනෙන අපූරු හැඟීම තව කෙනෙක්ට විඳින්න දෙන්න පුළුවන්නම්.....


උඩ පැන පැන දැඟලුවට උඹ හරිම දුර්වල සතෙක්... කොහෙන්දෝ ආපු කට හඩක් හිනා වෙනවා. මම ගැස්සිලා වට පිට බැලුවා. ලඟ පාත තියා දුර ඈතින්වත් ඒ හඩේ හිමිකාරයව මට පෙනුනේ නෑ.


විකාර.... ඔයා එහෙම කියන බව මම දන්නවා.


මටත් හිතුනේ එහෙමමයි..


මේ ලෝකේ නිරපේක්‍ෂයි... කවුදෝ කොහේ හරි ලියලා තිබ්බා.... එක පාරටම අහසේ විදුලියක් කෙටුවා...


බම්බුව තමයි... අර හඬ ආයිත් හිනා වුනා.


හඬ කියන්නේ ඇත්ත... ලෝකය නිරපේක්‍ෂ වුනානම්.... එහෙම උනානම් මගේ සිතුවිලි කාට හරි කිව්වොත් එයාටත් මට දැනුන හැඟීමම දැනෙන්න ඕනේ.. මේ හැම දෙයක්ම “මට“ සාපේක්‍ෂයි... අහස ගොරවනවා..


විදුලි කෙටුවට පස්සේ කොහොමත් ගොරවන්න එපෑනේ....


මම වැරදිද...? මම අහසෙන් ඇහුවා.. උත්තරයක් ලැබුනේ නෑ.. ආයිත් පුංචි හුලං රැල්ලක් හමන් යනවා මට දැනුනා... 


මම ලියනවා... මුළු අහසටම ඇහෙන්න මම මිමිණුවා.. උඹ ඇතුලේ සැරින් සැරේ මතුවෙන වාලාකුළු ගැන මම ලෝකෙටම කියනවා... ආයිත් විදුලියක් කෙටුවා...


දැන් ඉතින් තව ටිකකින් ගොරවයි..... කොහෙන්දෝ අර හඩ ආයිත් මතු උනා...


ඊට පස්සේ.....? ඊට පස්සේ ඉතින් ආයිත්...........